මා දුවණි

ඔබයි මා දුවණි
මගෙම නෙත් ඈතින්  
මා වෙතම බලමින් 
සිනාසෙන ලෙස හැඟිණි
මගෙම හදවතෙහි කොටසක්
එකම රිද්මයට යාවී
මට මඳක් ඈතින්
ගැහෙන ලෙස මට හැඟිණි
දෙදෙන දෙදෙනෙක් වුවද
මගෙම සිරුරින් කොටසක්
නුදුරින්ම සැරිසරන බව
සැම දිනේ මට සිතුණි

දැනුම් තේරුම් ඇති දිනෙක
ඔබ මගෙම කොටසකැයි
මා හදට දැනුණු දෙය
ඔබ හදට දැනේදැයි
නොදන්නෙමි දියණී



ඉරෝෂිණී / 2010

වියපත් නොවූ මතකය

දෙදහස් දහය වසරෙහි

එක්තරා දිනයක
අකුරු කළ විද්‍යා පීඨය මැදින්
ගණිත අංශය පසුකර
පිය නැඟුවෙමි නුග ගස දෙසට

සියල්ලම එතැනමය එලෙසමය
දොළොස් වසරක් ගෙවුනමුත්
මා ඔබට ඔබ මටද සමුදී
පිය නඟද්දී යොවුන් විය මා අතැර
සුන්දරයි ඔබ අදත් එදා මෙන්

දයාබර සරසවි මවුනි
එදා ඔබ සෙවණෙහි
සැතපෙමින් සැනසෙමින්
ගෙවූ තෙවසරක කාලය
නොවේ වියපත් කිසිදා

ඉරෝෂිණී / 2010